පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධනය සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වේ....

මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධනය සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වේ....

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග හා ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී (28) දින පැවැත්විණි.

මහනුවර දිස්ත්‍රික්කය තුළ 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය සඳහා යොමු කරන ලද සංවර්ධන යෝජනා, මධ්‍යම රජයේ, රේඛීය අමාත්‍යාංශ සහ විමධ්‍යගත අයවැය යෝජනා සම්බන්ධයෙන් ද අදාළ වැඩසටහන් නියමිත පරිදි වසර තුළදී අවසන් කිරීම කෙරෙහි ද මෙහිදී පළමුව අවධානය යොමු කෙරිණි.

එමෙන්ම මෙම වර්ෂයේ මධ්‍යම පළාත් සභාව, පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ ගැටලු සහ යෝජනා විසඳුම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු අනුමැතිය ලබා නොගැනීම සහ අදාළ ක්‍රියා පටිපාටි නිසි පරිදි අනුගමනය නොකිරීම හේතුවෙන් ව්‍යාපෘති රැසක් ප්‍රමාද වී ඇති බවත්, පළාත් පාලන ආයතනවල ව්‍යාපෘති සඳහා රජයෙන් මුදල් ලබා දී තිබුණද, නිසි සැලසුම් සහ අනුමැතියන් නොමැතිකම නිසා ඒවා මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති වීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ අතර, ඒ සඳහා විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙස සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කළේය.

එමෙන්ම ඇතැම් ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් තවමත් වියදම් කර නොමැති බවත්, ඇතැම් ව්‍යාපෘති සඳහා අනුමත කර ඇති මුදල් ප්‍රමාණයන් ප්‍රමාණවත් නොවීම හෝ ඒවායේ සංශෝධන අවශ්‍ය වීම වැනි තත්ත්වයන් මතු වීම නිසා සංවර්ධන වැඩසටහන් ප්‍රමාද වීම සම්බන්ධයෙන්ද ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය. එහිදී අකාර්යක්ෂම සහ නිසි ප්‍රතිලාභ ලබා නොදෙන ව්‍යාපෘති සමාලෝචනය කර, අවශ්‍ය නම් එම මුදල් වෙනත් ප්‍රමුඛතා සඳහා යොමු කිරීමට හෝ ඒවායේ ගැටළු නිරාකරණය කර ගැනීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කිරීමට ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා දන්වා සිටියේය.

මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ග සහ පළාත් මාර්ග සංවර්ධනය, නාගරික සංවර්ධනය, අධ්‍යාපනය, ජල සම්පාදනය, සෞඛ්‍ය, ප්‍රවාහන, කෘෂිකර්ම, වාරිමාර්ග, නිවාස හා නාගරික සංවර්ධනය, විදුලිය සහ ජලය ඇතුළු අංශ රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වය යටතේ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම, ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත ව්‍යාපෘතියට (KMTT) සමාගාමීව ක්‍රියාත්මක කළ යුතු බස් රථ ධාවන ප්‍රතිනිර්මාණය කිරීම සහ ජංගම මාර්ග යෙදවුම ("සුබ ගමන්") ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය විසින් මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook