පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධනයට, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ…………..

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධනයට, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ…………..

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, එම සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය "ආශ්චර්ය" ශාලාවේ දී (30) දින පැවැත්විණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් හානියට පත් වූ කෘෂි වගා හානි සම්බන්ධයෙන් වන්දි ගෙවීම, වතු හා නොවන ප්‍රදේශවල නිවාස හානි වෙනුවෙන් වන්දි ගෙවීම් සහ නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය හා පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන විෂයට අදාළ කරුණු සහ අර්තාපල් වගාව සහ බීජ අල නිෂ්පාදනය කිරීම ආදී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමු විය.

නුවරඑළිය ග්‍රෙගරි වැව සහ එහි නඩත්තු කටයුතු, වත්මන් තත්ත්වය, වැසි දිනවල ගංවතුර පාලනය කිරීම සහ එහි පරිපාලන කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරිදි භාර දීමේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද කමිටුවේ සාකච්ඡාවට ලක් විය.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සියලු සංවර්ධන වැඩසටහන්වල මේ දක්වා ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඒ ඒ විෂයයන් අනුව ඇති වූ ගැටලු සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට සහ සමාලෝචනයට ලක්විය. ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, එම මාර්ග ආශ්‍රිත ආරක්ෂිත ස්ථාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන සහ ලෝක ආහාර වැඩසටහන යටතේ ගෙවතු වගා කිරීම යන විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී ආවරණය කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා මෙහිදී අදහස් දක්වමින්, ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන්ම පිරිහීමට ගිය රටක් නැවත ගොඩනැගීමට සිදුව තිබෙන බවත්, ඒ සඳහා සියලු දෙනාගේ දායකත්වය අවශ්‍ය බවත්, විශාල පිරිසක් මේ සඳහා දායකත්වය ලබා දෙන අතර අනෙක් පිරිසද ඒ සඳහා දායක වන ලෙස ඉල්ලා සිටියේය. තවද, ගමට ගොස් ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වය උපරිම ලෙස ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

මධ්‍යම පළාතේ රාජ්‍ය සේවයට 60,000 ක පමණ සේවක පිරිසක් අවශ්‍ය වුවද, දැනට සේවයේ නිරත වන්නේ 50,000 ක පිරිසක් බවත්, මේ යටතේ ඉදිරියේදී ගුරුවරුන් 3,500 කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ එකඟතාව මත ඉදිරි වසරේ තවත් 2,000 ක සේවක පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරන බවත්, ඒ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට අදාළව වැඩි පිරිසක් ලබා දීමට කටයුතු කරන බවත් විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම රැස්වීම සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලුසාමි රාධාක්‍රිෂ්ණන්, පී.ජී. විජේරත්න, අනුෂ්කා තිලකරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහුද, පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්. තෙන්නකෝන් යන මහත්ම මහත්මීහුද, මධ්‍යම පළාත් සභාව සහ මධ්‍යම රජයේ ආයතන නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්වූහ.

See less

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook