ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

නාඋල නගර මධ්‍යයේ තෙමහල් සාප්පු සංකීර්ණයකට මුල්ගල් තැබේ

නාඋල නගර මධ්‍යයේ තෙමහල් සාප්පු සංකීර්ණයකට මුල්ගල් තැබේ

නාඋල ප්‍රාදේශීය සභාවේ ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 12.8ක ව්‍යාපෘතියක්

පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රදාන ලබාදීමේ ව්‍යාපෘතිය – 2026 යටතේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබාදෙන රුපියල් මිලියන 12.8ක ප්‍රතිපාදන යටතේ නාඋල නගර මධ්‍යයේ තෙමහල් සාප්පු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම (14) සිදු කෙරිණි.

නාඋල ප්‍රාදේශීය සභාව සතු, නාඋල බස් නැවතුම්පල ආසන්නයේ පිහිටි ඉඩමක මෙම සාප්පු සංකීර්ණය ඉදිකිරීමට නියමිත අතර, මුල්ගල් තැබීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ ආගමික, සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ව්‍යාපෘතියේ මූලික අදියර මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිත බව සඳහන් වේ.

“සවිමත් එකතුවක් – සපිරුණු නගරයක්” යන තේමාව යටතේ නාඋල ප්‍රාදේශීය සභාව විසින් 2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති අතර මෙම ව්‍යාපෘතිය ද ප්‍රධාන ස්ථානයක් ගනී.

දඹුල්ල සහ මාතලේ යන සංචාරක හා වාණිජ නගර අතර පිහිටා ඇති නාඋල නගරය හරහා විශාල සංචාරක පිරිසක් ගමන් කරන බැවින්, එම සංචාරකයින් වෙත විවිධ සේවා සැපයීම තුළින් ප්‍රාදේශීය සභාවේ ආදායම ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවද මෙහිදී සඳහන් විය. අඩු ආදායම්ලාභී පළාත් පාලන ආයතනයක් ලෙස නාඋල ප්‍රාදේශීය සභාවේ ආදායම් මාර්ග පුළුල් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ.

මේ අතර, නාඋල ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතින් සිදු කෙරිණි. වර්තමාන රජයේ ප්‍රමුඛ කාර්යයක් වන ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට මෙය දායක වන අතර, ප්‍රාදේශීය සභාව මගින් සපයනු ලබන සේවා මහජනතාව වෙත වඩාත් පහසුවෙන් සමීප කිරීම මෙන්ම විවිධ ගෙවීම් විද්‍යුත් ක්‍රම ඔස්සේ සිදු කිරීමට අවස්ථාව සැලසීමද එහි අරමුණක් බව නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති පී.ජී. සුනිල් ශාන්ත මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා, මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඊ.එම්.කේ.එස්.බී. ජයරත්න මහතා, විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ප්‍රදීප් කුමාර මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා, පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.සී.කේ. අතපත්තු මහත්මිය, මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් සමිත සපුතන්ත්‍රි මහතා, නාඋල ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමාරි අබේරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, නාඋල වෙළෙඳ සංගම් නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook