පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

පාසල් පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් රණබිම රාජකීය විද්‍යාලයේ ‘CONFLUENCE ’26’ සම්මන්ත්‍රණය (Students' Research Symposium) සාර්ථකව පැවැත්වේ.

පාසල් පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් රණබිම රාජකීය විද්‍යාලයේ ‘CONFLUENCE ’26’ සම්මන්ත්‍රණය (Students' Research Symposium) සාර්ථකව පැවැත්වේ.

මහනුවර රණබිම රාජකීය විද්‍යාලය සංවිධානය කළ ‘CONFLUENCE ’26’ සිසු පර්යේෂණ සම්මන්ත්‍රණය පසුගිය 23 වැනිදා මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රණබිම රාජකීය විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.

පාසල් සිසුන් තුළ විද්‍යාත්මක චින්තනය, පර්යේෂණ කුසලතා සහ නවෝත්පාදන හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් පැවැති මෙම සම්මන්ත්‍රණයට සිසු පර්යේෂණ 22ක් ඉදිරිපත් කර තිබූ අතර, අංකුර පර්යේෂකයන් 57 දෙනෙකු ඊට එක්වීම විශේෂත්වයකි.

අටවන ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ පර්යේෂණ හා නව නිපැයුම් මෙහිදී ඉදිරිපත් කෙරිණි.

මෙම පර්යේෂණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විවිධ පීඨවල විද්වතුන්ගේ මෙන්ම ජාතික විද්‍යා පදනමේ (NSF) සහ හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) විද්වත් මඟපෙන්වීම යටතේ සිදුකර තිබීම සම්මන්ත්‍රණයේ කැපී පෙනෙන විශේෂත්වයකි.

සම්මන්ත්‍රණයට සමගාමීව ඉදිරිපත් කළ පර්යේෂණ 22ම ඇතුළත් ‘CONFLUENCE ’26’ පර්යේෂණ සඟරාව ද එළිදක්වන ලදී. එහි ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චලින්ද කේ. බෙණරගම මහතා විසින් පවත්වන ලදී.

පර්යේෂණ ඇගයීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුභද්‍රා විජේසේකර මහත්මිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජනක විජේකුලසූරිය මහතා, මහාචාර්ය සකුන්තලා යටිගම්මන මහත්මිය, ආචාර්ය ප්‍රතිභානි කුමාරිහාමි මහත්මිය සහ ආචාර්ය නුවන් ද සිල්වා මහතා ඇතුළු විද්වත් විනිශ්චය මණ්ඩලයක් සහභාගි වූහ.

මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, සහෝදර පාසල් රැසක විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, පර්යේෂණ භාර ගුරුවරුන් සහ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විද්‍යාලයේ විදුහල්පති එම්. එම්. එන්. පෙරේරා මහතාගේ නායකත්වය හා මඟපෙන්වීම යටතේ, විද්‍යාලයේ විද්‍යා ආචාරිණී සහ පර්යේෂණ ඒකකය භාර ගුරුවරිය වන සාගරිකා ගුණතිලක මහත්මියගේ මෙහෙයවීමෙන් සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි. ඒ සඳහා සමස්ත ගුරු මණ්ඩලයේ සහාය මෙන්ම ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ දායකත්වය ද හිමිවිය.

විශේෂයෙන්ම, කනිෂ්ඨ සිසුන්ට පර්යේෂණ කටයුතු සඳහා මඟපෙන්වීම, පර්යේෂණ සඟරාව සකස් කිරීම සහ සම්මන්ත්‍රණයේ සංවිධාන කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ සිසුන් දැක්වූ දායකත්වය මෙහිදී අගය කළ යුතු කරුණකි.

පාසල් අධ්‍යාපනය විෂය දැනුමට පමණක් සීමා නොකර, විමර්ශනාත්මක චින්තනයෙන් හා නිර්මාණශීලී අදහස්වලින් යුත් අනාගත පර්යේෂකයන් බිහිකිරීමට දායක වන ‘CONFLUENCE ’26’ සම්මන්ත්‍රණය, සිසු පර්යේෂණ සංස්කෘතිය පාසල් මට්ටමින් ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

ඡායාරූප - මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook