පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මුද්දර බදු අයකිරීම ඩිජිටල්කරණයට – මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් මාර්ගගත ද්වාරයක්

මුද්දර බදු අයකිරීම ඩිජිටල්කරණයට – මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් මාර්ගගත ද්වාරයක්

මුද්දර බදු අයකිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් ක්‍රියාවලියක් බවට පත් කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද මාර්ගගත මුද්දර ගාස්තු ද්වාරය එළිදැක්වීම සිදු කෙරිණි.

ඒ අනුව, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ද්වාරය එළිදැක්වීමේ වැඩසටහන 02 දින මහනුවර ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දේපළ මිලදී ගැනීම් ඇතුළු ගනුදෙනුවලදී රජය වෙනුවෙන් අයකරනු ලබන මුද්දර බදු අයකිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සිදුවිය හැකි අක්‍රමිකතා හා වංචා අවම කිරීම මෙම ඩිජිටල් පද්ධතිය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණු වේ.

මෙහි විශේෂත්වය වන්නේ අදාළ ක්‍රියාවලියට සම්බන්ධ වන නොතාරිස්වරුන්, බැංකු ශාඛා, පළාත් ආදායම් දෙපාර්තමේන්තුව සහ පළාත් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල අතර තොරතුරු හුවමාරු කරගැනීමටත්, අන්තර් සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කිරීමටත් හැකි ඒකාබද්ධ දත්ත පද්ධතියක් ලෙස මෙය ක්‍රියාත්මක වීමයි.

එමෙන්ම, අදාළ ගනුදෙනුවේ එක් එක් අදියර පහසුවෙන් නිරීක්ෂණය කිරීමට මෙම පද්ධතිය මඟින් අදාළ ආයතනවලට අවස්ථාව සැලසෙන අතර, තමන් විසින් ගෙවනු ලබන මුද්දර ගාස්තුව නිසි පරිදි රජයට අයවී ඇත්ද යන්න මහජනතාවට ද පරීක්ෂා කර බැලීමට හැකියාව ලැබීම මෙහි තවත් සුවිශේෂී ලක්ෂණයකි. ඒ තුළින් මුද්දර බදු අයකිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ මහජන විශ්වාසය තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම මාර්ගගත මුද්දර ගාස්තු සේවාව https://revenue.cp.gov.lk/online-stamp-duty/ වෙබ් ද්වාරය ඔස්සේ ලබාගත හැකිය.

මෙහි ඉදිරි අදියර යටතේ උකස් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සහ ඛනිජ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ද මෙම ඩිජිටල් පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කෙරිණි.

මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) ජී.එම්.කේ. ඒකනායක මහතා, සහකාර ආණ්ඩුකාර ලේකම් වරුණ මියනදෙණිය මහතා, පළාත් ආදායම් කොමසාරිස් කේ.ජී.පී.කේ. කටුපුල්ල මහතා, නියෝජ්‍ය පළාත් ආදායම් කොමසාරිස් එච්.එම්.පී.එස්.බී. රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, මහනුවර, ගම්පොළ, මාතලේ, නුවරඑළිය සහ කුණ්ඩසාලේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල නියෝජනය කරමින් නිලධාරීහු ද, මහජන බැංකුව සහ ලංකා බැංකුව නියෝජනය කරමින් නිලධාරීන් ද එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook