ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

සාහිත්‍ය හා රසවින්දනය ඔස්සේ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ආතති කළමනාකරණයට පුහුණු වැඩසටහනක්.

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ආතතිය කළමනාකරණය කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ පුහුණු වැඩසටහනක් අද (04) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මධ්‍යම පළාතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා විවිධ ආයතනවල සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සාහිත්‍ය හා රසවින්දනය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

එහි සම්පත් දායකත්වය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ සමිත දුනුකේපොත මහතා විසින් ලබාදුන් අතර, සාම්ප්‍රදායික පුහුණු වැඩසටහන් ආකෘතියෙන් බැහැරව රසවින්දනාත්මක හා නිර්මාණශීලී ප්‍රවේශයක් ඔස්සේ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දීම හේතුවෙන් මෙම වැඩසටහන සහභාගී වූ නිලධාරීන්ගේ විශේෂ ආකර්ෂණයට ද ලක්විය.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිළිණි දෙහිගොල්ලේ මහත්මියගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර ක්‍රියාත්මක කෙරිණි.

මුද්දර බදු අයකිරීම ඩිජිටල්කරණයට – මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් මාර්ගගත ද්වාරයක්

මුද්දර බදු අයකිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් ක්‍රියාවලියක් බවට පත් කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද මාර්ගගත මුද්දර ගාස්තු ද්වාරය එළිදැක්වීම සිදු කෙරිණි.

ඒ අනුව, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ද්වාරය එළිදැක්වීමේ වැඩසටහන 02 දින මහනුවර ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දේපළ මිලදී ගැනීම් ඇතුළු ගනුදෙනුවලදී රජය වෙනුවෙන් අයකරනු ලබන මුද්දර බදු අයකිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සිදුවිය හැකි අක්‍රමිකතා හා වංචා අවම කිරීම මෙම ඩිජිටල් පද්ධතිය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණු වේ.

මෙහි විශේෂත්වය වන්නේ අදාළ ක්‍රියාවලියට සම්බන්ධ වන නොතාරිස්වරුන්, බැංකු ශාඛා, පළාත් ආදායම් දෙපාර්තමේන්තුව සහ පළාත් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල අතර තොරතුරු හුවමාරු කරගැනීමටත්, අන්තර් සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කිරීමටත් හැකි ඒකාබද්ධ දත්ත පද්ධතියක් ලෙස මෙය ක්‍රියාත්මක වීමයි.

එමෙන්ම, අදාළ ගනුදෙනුවේ එක් එක් අදියර පහසුවෙන් නිරීක්ෂණය කිරීමට මෙම පද්ධතිය මඟින් අදාළ ආයතනවලට අවස්ථාව සැලසෙන අතර, තමන් විසින් ගෙවනු ලබන මුද්දර ගාස්තුව නිසි පරිදි රජයට අයවී ඇත්ද යන්න මහජනතාවට ද පරීක්ෂා කර බැලීමට හැකියාව ලැබීම මෙහි තවත් සුවිශේෂී ලක්ෂණයකි. ඒ තුළින් මුද්දර බදු අයකිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ මහජන විශ්වාසය තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම මාර්ගගත මුද්දර ගාස්තු සේවාව https://revenue.cp.gov.lk/online-stamp-duty/ වෙබ් ද්වාරය ඔස්සේ ලබාගත හැකිය.

මෙහි ඉදිරි අදියර යටතේ උකස් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සහ ඛනිජ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ද මෙම ඩිජිටල් පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කෙරිණි.

මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) ජී.එම්.කේ. ඒකනායක මහතා, සහකාර ආණ්ඩුකාර ලේකම් වරුණ මියනදෙණිය මහතා, පළාත් ආදායම් කොමසාරිස් කේ.ජී.පී.කේ. කටුපුල්ල මහතා, නියෝජ්‍ය පළාත් ආදායම් කොමසාරිස් එච්.එම්.පී.එස්.බී. රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, මහනුවර, ගම්පොළ, මාතලේ, නුවරඑළිය සහ කුණ්ඩසාලේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල නියෝජනය කරමින් නිලධාරීහු ද, මහජන බැංකුව සහ ලංකා බැංකුව නියෝජනය කරමින් නිලධාරීන් ද එක්ව සිටියහ.

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධනයට, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ…………..

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, එම සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය "ආශ්චර්ය" ශාලාවේ දී (30) දින පැවැත්විණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් හානියට පත් වූ කෘෂි වගා හානි සම්බන්ධයෙන් වන්දි ගෙවීම, වතු හා නොවන ප්‍රදේශවල නිවාස හානි වෙනුවෙන් වන්දි ගෙවීම් සහ නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය හා පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන විෂයට අදාළ කරුණු සහ අර්තාපල් වගාව සහ බීජ අල නිෂ්පාදනය කිරීම ආදී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමු විය.

නුවරඑළිය ග්‍රෙගරි වැව සහ එහි නඩත්තු කටයුතු, වත්මන් තත්ත්වය, වැසි දිනවල ගංවතුර පාලනය කිරීම සහ එහි පරිපාලන කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරිදි භාර දීමේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද කමිටුවේ සාකච්ඡාවට ලක් විය.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සියලු සංවර්ධන වැඩසටහන්වල මේ දක්වා ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඒ ඒ විෂයයන් අනුව ඇති වූ ගැටලු සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට සහ සමාලෝචනයට ලක්විය. ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, එම මාර්ග ආශ්‍රිත ආරක්ෂිත ස්ථාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන සහ ලෝක ආහාර වැඩසටහන යටතේ ගෙවතු වගා කිරීම යන විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී ආවරණය කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා මෙහිදී අදහස් දක්වමින්, ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන්ම පිරිහීමට ගිය රටක් නැවත ගොඩනැගීමට සිදුව තිබෙන බවත්, ඒ සඳහා සියලු දෙනාගේ දායකත්වය අවශ්‍ය බවත්, විශාල පිරිසක් මේ සඳහා දායකත්වය ලබා දෙන අතර අනෙක් පිරිසද ඒ සඳහා දායක වන ලෙස ඉල්ලා සිටියේය. තවද, ගමට ගොස් ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වය උපරිම ලෙස ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

මධ්‍යම පළාතේ රාජ්‍ය සේවයට 60,000 ක පමණ සේවක පිරිසක් අවශ්‍ය වුවද, දැනට සේවයේ නිරත වන්නේ 50,000 ක පිරිසක් බවත්, මේ යටතේ ඉදිරියේදී ගුරුවරුන් 3,500 කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ එකඟතාව මත ඉදිරි වසරේ තවත් 2,000 ක සේවක පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරන බවත්, ඒ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට අදාළව වැඩි පිරිසක් ලබා දීමට කටයුතු කරන බවත් විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම රැස්වීම සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලුසාමි රාධාක්‍රිෂ්ණන්, පී.ජී. විජේරත්න, අනුෂ්කා තිලකරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීහුද, පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්. තෙන්නකෝන් යන මහත්ම මහත්මීහුද, මධ්‍යම පළාත් සභාව සහ මධ්‍යම රජයේ ආයතන නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්වූහ.

See less

විදේශීය ආයෝජන හා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා මැදරටට ගෙන ඒමට රාජතාන්ත්‍රික හමුවක්

මධ්‍යම පළාතේ සංචාරක, කෘෂිකාර්මික හා කුඩා ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි සංවර්ධනය වේගවත් කරමින් විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සහ පළාතේ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීමේ අරමුණින් සංවිධානය කෙරෙන ‘An Evening with Diplomats’ රාජතාන්ත්‍රික හමුවෙහි මූලික අදියරෙහි හමුවක් (30) දින මධ්‍යම පළාත් සභා පරිශ්‍රයේ දී පැවැත්විණි.

අග්නිදිග ආසියානු කලාපයේ රටවල් අතර ආර්ථික, දේශපාලනික, සමාජීය හා සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ආසියාන් (ASEAN) සංගමයට අයත් වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේෂියාව, මියන්මාරය සහ තායිලන්තය යන රටවල් පහක තානාපතිවරුන් සහ නියෝජිතයින් පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, කුඩා ව්‍යාපාර හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා විදේශීය ආයෝජන අවස්ථා උදාකර ගැනීම මෙන්ම පළාතේ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය සම්බන්ධතා ගොඩනැඟීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.

එම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය සහ සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සඳමාලි හේවගේ මහත්මිය එක්ව සිටියහ.

මාතලේ දිස්ත්‍රික් සංවර්ධනය සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වේ....

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය 'වීර කැප්පෙටිපොළ' ශාලාවේදී (29) දින පෙරවරුවේ පැවැත්විණි.

මාතලේ දිස්ත්‍රික්කය තුළ 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන යෝජනා සම්බන්ධයෙන්, මධ්‍යම රජයේ සහ විමධ්‍යගත අයවැය සහ පළාත් සභා සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් සහ පවතින ගැටලු හා විසඳුම් යෝජනා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීමේදී ‘දිවියට සවියක්’ නිවාස වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිවන නිවාස 33 ක් සඳහා සංකේතාත්මකව තෝරාගත් ප්‍රතිලාභීන් දස දෙනෙක් වෙත මුදල් චෙක්පත් පිරිනැමීම ද සිදුවිය.

මාතලේ දිස්ත්‍රික්කයේ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් වූ නිවාස නැවත ඉදිකිරීම සම්බන්ධයෙන් මේ දක්වා පවතින ප්‍රගතිය, ඉඩම් හඳුනාගැනීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන වැඩසටහන්, ප්‍රජා ජල සම්පාදනය, වන අලි සහ අලි වැට ඉදි කිරීම, වන සංරක්ෂණය, මාර්ග ඉදි කිරීම, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය ඇතුළු විෂයයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සහ දිස්ත්‍රික්කයේ පවතින පොදු ගැටළු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

මධ්‍යම පළාතටම අදාළව අඩු ආදායම්ලාභී පවුල්වල අයට නිවාස අවශ්‍යතාවය සහ වැසිකිළි අවශ්‍යතාවයන් හඳුනාගෙන ඉදිරි වසරවල නිවාස හා වැසිකිළි ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා මාතලේ දිස්ත්‍රික්කය තුළ අවශ්‍යතාවය හඳුනාගෙන දැනුම් දෙන ලෙසත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා මෙහිදී දන්වා සිටියේය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සමහර රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණයක් නොමැති නිසා සංවර්ධන කාර්යයන් පමා වන ස්වරූපයක් පවතින බවත්, ඒ අනුව ආයතන අතර විධිමත් සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් බවත්, විසඳිය යුතු සංවර්ධන හා ජනතා ගැටළු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ගෙන ඒමට පෙර ප්‍රාදේශීය වශයෙන් විසඳා ගැනීමට හැකියාව ඇත්නම් ඒ ඒ අවස්ථාවන්හිදී විසඳා ගැනීමට පියවර ගත යුතු බවත් ආණ්ඩුකාරවරයා මෙහිදි අවධාරණය කළේය.

මධ්‍යම පළාත් සභාවේ ආයතන ඩිජිටල්කරණය කිරීම ආරම්භ කර ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී රාජ්‍ය ආයතන තුළ ඩිජිටල්කරණය සම්බන්ධ වෙනස්කම් සිදුවන බවත්, පළාතේ රාජ්‍ය ආයතන සඳහා නිලධාරීන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන පුරප්පාඩු සඳහා ගුරුවරුන් ඇතුළු නිලධාරීන් බඳවා ගැනීම සිදු කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ දී පැවසීය.

මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් හේමන්ත, සුනිල් බියන්විල, දීප්ති වාසලගේ, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි යන මහත්ම මහත්මීන්ද, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, ආණ්ඩුකාර ලේකම් නිශාන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, මධ්‍යම රජයේ සහ පළාත් සභා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

See less

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook