සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

“පිවිතුරු පුරවර” වැඩසටහන යටතේ මහනුවර සහ මාතලේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කෙරේ

“පිවිතුරු පුරවර” වැඩසටහන යටතේ මහනුවර සහ මාතලේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කෙරේ

“පිවිතුරු පුරවර” වැඩසටහන යටතේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් (12) නවයාලතැන්න පළාත් පාලන පර්යේෂණ හා පුහුණු ආයතනයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ “Clean ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ “පිවිතුරු පුරවර” වැඩසටහන දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවල සක්‍රීය දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන විද්‍යාත්මක ප්‍රවේශයන් සැලකිල්ලට ගනිමින් කසළ එදිනෙදා ජීවිතයට මෙන්ම පරිසරයටද ගැටලුවක් නොවන ආකාරයෙන් කළමනාකරණය කරමින්, ආර්ථික වශයෙන් ලාභදායී සම්පතක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.

යාවත්කාලීන හා නිවැරදි දත්ත පද්ධතියක් නිර්මාණය කර, එම දත්ත මත පදනම්ව අනාගතයේ ජනනය වන කසළ ප්‍රමාණය සහ කසළ වර්ග පිළිබඳ පුරෝකථනය කරමින්, ඊට ගැළපෙන නවීන, විද්‍යාත්මක හා ශ්‍රී ලංකාවට ප්‍රායෝගිකව ගැළපෙන විසඳුම් වසර තුනක කාලයක් තුළ නිර්මාණය කර අවසන් කිරීම වැඩසටහනේ ඉලක්කය වේ.

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, කසළ ගැටලුව තනි පුද්ගලයකුගේ ගැටලුවක් ලෙස නොව සමස්ත සමාජයම එක්ව විසඳිය යුතු ගැටලුවක් ලෙස සැලකිය යුතු බවයි. කසළ ජනනය අවම කිරීම සඳහා ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමද අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා සඳහන් කළේ, පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා පළාත් පාලන ආයතන ප්‍රදේශ සහ සීමා මායිම් අනුව වෙන්ව ක්‍රියා කළද, ජාතික වැඩසටහනක් සැලසුම් කිරීමේදී එම සීමාවන් නොසලකා සම්පත් හුවමාරු කරගනිමින් එකම අරමුණක් වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බවයි.

වැඩසටහනේදී අදහස් දැක්වූ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන ප්‍රධානීන් පෙන්වා දුන්නේ කසළ කළමනාකරණය සඳහා දැනට පළාත් පාලන ආයතන සතුව පවතින සම්පත් මෙන්ම කසළ අංගනවල පවතින ඉඩකඩද ප්‍රමාණවත් නොවන බවයි.

එමෙන්ම ජනගහනය වර්ධනය වීමත් සමඟ කසළ අංගන ආසන්නයේ නව නිවාස ඉදිවීම හේතුවෙන් එම ප්‍රදේශ ජනාකීර්ණ වෙමින් පවතින බවත්, කසළ අංගනවලින් ඇතිවන දුර්ගන්ධය සහ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ජනතාවගේ විරෝධතා එල්ල වන බවත් ඔවුහු සඳහන් කළහ. මේ හේතුවෙන් නව කසළ අංගන සදහා ස්ථාන සොයා ගැනීමද පළාත් පාලන ආයතන මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හි නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් (රාජකාරි ආවරණ) චරිතා ඉලංගකෝන් මහත්මිය, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය, නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල සහකාර කොමසාරිස්වරුන්, නාගරික කොමසාරිස්වරුන්, සභා ලේකම්වරුන් සහ විෂය භාර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook