සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මාතලේ දිස්ත්‍රික් සංවර්ධනය සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වේ....

මාතලේ දිස්ත්‍රික් සංවර්ධනය සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වේ....

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය 'වීර කැප්පෙටිපොළ' ශාලාවේදී (29) දින පෙරවරුවේ පැවැත්විණි.

මාතලේ දිස්ත්‍රික්කය තුළ 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන යෝජනා සම්බන්ධයෙන්, මධ්‍යම රජයේ සහ විමධ්‍යගත අයවැය සහ පළාත් සභා සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් සහ පවතින ගැටලු හා විසඳුම් යෝජනා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීමේදී ‘දිවියට සවියක්’ නිවාස වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිවන නිවාස 33 ක් සඳහා සංකේතාත්මකව තෝරාගත් ප්‍රතිලාභීන් දස දෙනෙක් වෙත මුදල් චෙක්පත් පිරිනැමීම ද සිදුවිය.

මාතලේ දිස්ත්‍රික්කයේ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් වූ නිවාස නැවත ඉදිකිරීම සම්බන්ධයෙන් මේ දක්වා පවතින ප්‍රගතිය, ඉඩම් හඳුනාගැනීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන වැඩසටහන්, ප්‍රජා ජල සම්පාදනය, වන අලි සහ අලි වැට ඉදි කිරීම, වන සංරක්ෂණය, මාර්ග ඉදි කිරීම, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය ඇතුළු විෂයයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සහ දිස්ත්‍රික්කයේ පවතින පොදු ගැටළු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

මධ්‍යම පළාතටම අදාළව අඩු ආදායම්ලාභී පවුල්වල අයට නිවාස අවශ්‍යතාවය සහ වැසිකිළි අවශ්‍යතාවයන් හඳුනාගෙන ඉදිරි වසරවල නිවාස හා වැසිකිළි ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා මාතලේ දිස්ත්‍රික්කය තුළ අවශ්‍යතාවය හඳුනාගෙන දැනුම් දෙන ලෙසත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා මෙහිදී දන්වා සිටියේය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සමහර රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණයක් නොමැති නිසා සංවර්ධන කාර්යයන් පමා වන ස්වරූපයක් පවතින බවත්, ඒ අනුව ආයතන අතර විධිමත් සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් බවත්, විසඳිය යුතු සංවර්ධන හා ජනතා ගැටළු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ගෙන ඒමට පෙර ප්‍රාදේශීය වශයෙන් විසඳා ගැනීමට හැකියාව ඇත්නම් ඒ ඒ අවස්ථාවන්හිදී විසඳා ගැනීමට පියවර ගත යුතු බවත් ආණ්ඩුකාරවරයා මෙහිදි අවධාරණය කළේය.

මධ්‍යම පළාත් සභාවේ ආයතන ඩිජිටල්කරණය කිරීම ආරම්භ කර ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී රාජ්‍ය ආයතන තුළ ඩිජිටල්කරණය සම්බන්ධ වෙනස්කම් සිදුවන බවත්, පළාතේ රාජ්‍ය ආයතන සඳහා නිලධාරීන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන පුරප්පාඩු සඳහා ගුරුවරුන් ඇතුළු නිලධාරීන් බඳවා ගැනීම සිදු කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ දී පැවසීය.

මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් හේමන්ත, සුනිල් බියන්විල, දීප්ති වාසලගේ, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි යන මහත්ම මහත්මීන්ද, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, ආණ්ඩුකාර ලේකම් නිශාන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, මධ්‍යම රජයේ සහ පළාත් සභා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

See less

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook