සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ආරක්ෂක කමිටුව රැස්වේ...

මධ්‍යම පළාත් ආරක්ෂක කමිටුව රැස්වේ...

මධ්‍යම පළාත් ආරක්ෂක කමිටු රැස්වීම,මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී (03) පැවැත්විණි.

මධ්‍යම පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂාව සම්බන්ධ ආයතන විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ආරක්ෂක කටයුතු මෙහිදී සමාලෝචනය කිරීම සිදු විය.එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්, පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අවම කිරීම සහ ඒ සඳහා මනා අධීක්ෂණයක් සහිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.මධ්‍යම පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය, දිස්ත්‍රික් මට්ටමින් පවතින අවදානම හා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ රෝගී සත්කාර කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

එමෙන්ම හඳුනාගත් ප්‍රදේශයන් තුළ පවතින මාර්ග හා රිය අනතුරු අවම කිරීම සහ ඒ සඳහා යෙදිය යුතු පිළියම් හා විසඳුම් සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික් මට්ටමින් සිදු වූ ආපදා හානි සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති පියවර, යටිතල පහසුකම් සංවර්ධනය හා ජන ජීවිතය යථාවත් කිරීම කෙරෙහි ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදි සාකච්ඡා විය.මීට සමගාමීව නගර ආශ්‍රිතව සිටින යාචකයින් ඉවත් කිරීම, වන සංරක්ෂණ සහ වනජීවී අංශවල පවතින ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡාවට භාජනය වූ අතර, මාස තුනකට වරක් මධ්‍යම පළාත් ආරක්ෂක කමිටුව රැස්වීමට ද තීරණය කෙරිණි.මෙම කමිටු රැස්වීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් දීලිපා රූපානි පියදාස, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති (මහනුවර උතුර) සුදත් මාසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද, පළාත් සභා සහ මධ්‍යම රජයේ ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook