මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව ‘VISIT KANDY’ වෙළෙඳ ප්‍රදර්ශනය අගෝස්තු මස 27, 28 සහ 29 යන දිනවල KCC හිදී පැවැත්විණ.
මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘VISIT KANDY’ වෙළෙඳ ප්‍රදර්ශනය හා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන (27) මහනුවර KCC පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව, මධ්‍යම පළාතේ සංචාරක ආකර්ෂණය දේශීය හා විදේශීය සංචාරකයින් අතර තවදුරටත් ප්‍රචලිත කිරීමත්, මැදරට සංචාරක කර්මාන්තය හා ඒ ආශ්රිත ව්‍යාපාරික ක්ෂේත්රයන්ගේ ප්රවර්ධනයත් අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය විය.
මධ්‍යම පළාත් වෙළෙඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘VISIT KANDY’ වැඩසටහන මෙවර අගෝස්තු මස 27, 28 සහ 29 යන තෙදින පුරා මහනුවර KCC පරිශ්‍රයේදී පැවැත්විය.
මෙහි සමාරම්භක උත්සවය සහ වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යවසායකයින්, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සහ අනෙකුත් සංචාරක ක්ෂේත්‍ර නියෝජිතයින් එකම වේදිකාවකට ගෙන එමින් ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කිරීමට මෙහිදී අවස්ථාව සලසා දී තිබේ. එමෙන්ම මධ්‍යම පළාතේ පවතින සංචාරක සම්පත් සහ විවිධ අවස්ථා පිළිබඳව දෙස් විදෙස් සංචාරකයින් දැනුවත් කිරීමද වැඩසටහනේ ප්‍රධාන අරමුණක් විය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය, මැදරට සම්ප්‍රදායන් සහ දේශීය ආහාර සංස්කෘතිය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සලසා දීම මෙවර වැඩසටහනේ විශේෂත්වයක් වී ඇත. ඒ අනුව දේශීය ආහාරපාන සම්ප්‍රදායන් හඳුන්වාදීමේ වැඩසටහන් මෙන්ම සංචාරකයින්ට සෘජුවම අත්දැකිය හැකි විවිධ ක්‍රියාකාරකම්ද සංවිධානය කර තිබිණ.
මධ්‍යම පළාතේ අනන්‍ය සංස්කෘතික උරුමය සහ කලා සම්ප්‍රදායන් විදහා දැක්වෙන සංස්කෘතික සංදර්ශනයක්ද මෙහිදී පැවැත්වුණු අතර, එමගින් දේශීය සංස්කෘතියේ විවිධත්වය දෙස් විදෙස් සංචාරකයින් වෙත සමීප කරවීමට කටයුතු කර තිබිණි.
වසර දහයකට අධික කාලයක් පුරා අඛණ්ඩව සංවිධානය කරනු ලබන ‘VISIT KANDY’ වැඩසටහන මගින් මහනුවර හා සමස්ත මධ්‍යම පළාතේ සංචාරක ගමනාන්ත, දේශීය නිෂ්පාදන, කර්මාන්ත සහ සංස්කෘතික උරුමයන් ප්‍රවර්ධනය කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. එහි අඛණ්ඩත්වය තවදුරටත් තහවුරු කරමින් මෙවර වැඩසටහනද සාර්ථකව සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
මහනුවර ඇසළ පෙරහැර නැරඹීම සඳහා මේ දිනවල මහනුවරට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට එකම ස්ථානයකදී මධ්‍යම පළාතේ සංචාරක ආකර්ෂණ, සංස්කෘතික උරුමයන්, දේශීය ආහාර සහ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව තොරතුරු හා අත්දැකීම් ලබා ගැනීමට මෙම වැඩසටහන මගින් අවස්ථාව උදාවිය.
මෙවැනි වැඩසටහන් මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය තවදුරටත් පුළුල් කිරීම සඳහා වැදගත් වේදිකාවක් වන අතර, සංචාරක කර්මාන්තය හා සෘජුව හා වක්‍රව සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන හා සේවා වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටද මෙය මහඟු අවස්ථාවක් සලසයි. එමෙන්ම සංචාරකයින්ගේ වැඩිවීම හරහා ප්‍රවාහන, ආහාරපාන, හෝටල්, අත්කම්, දේශීය නිෂ්පාදන සහ අනෙකුත් සේවා අංශවලටද ප්රතිලාභ සැලසීම අපේක්ෂා විය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය, මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා, නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර ගලපිටිය මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ප්‍රධාන හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඉනෝදනී තඹවිට මහත්මිය, මහනුවර KCC ආයතනයේ විධායක අධ්යක්ෂ මාධව ජයසිංහ මහතා, මහනුවර සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති ඇතුළු නිලධාරීන්, සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සදමාලි හේවගේ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහ දෙස් විදෙස් සංචාරකයින් රැසක් සහභාගී වූහ.
මධ්‍යම පළාත සතු ස්වභාවික සම්පත්, ඓතිහාසික හා සංස්කෘතික උරුමයන්, දේශීය ආහාර සම්ප්‍රදායන් සහ ව්‍යාපාරික හැකියාවන් එකිනෙක සම්බන්ධ කරමින් සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ‘VISIT KANDY’ වැනි වැඩසටහන් ඉදිරියේදීද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුළින් මැදරට සංචාරක කර්මාන්තයට නව ජවයක් ලබාදීමට හැකි වනු ඇත.
