බලශක්ති කාර්යක්ෂම තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයේ
බලශක්ති සංරක්ෂණය සහ විකල්ප බල ශක්ති භාවිතය සම්බන්ධයෙන් 2025 වර්ෂයේ සිදු කළ දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අදාළ ත්‍යාග ප්‍රදානය සහ ඇගයීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ඊ.එල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවනාගාරයේ දී (02) දින පැවැත්විණි.මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන විදුලිබල හා බලශක්ති සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මධ්‍යම පළාත තුළ එක් වැඩසටහනක් සඳහා දරුවන් 200 කගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් 19 ක් ද එක් වැඩසටහනක් හා දරුවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද ප්‍රායෝගික දැනුවත් කිරීමේ වැඩසටහන් 10 ක් ද මේ යටතේ ක්‍රියාත්මක කරන තිබේ. දිස්‍ත්‍රික්ක අනූව එක් දිස්ත්‍රික්කයකින් බාලදක්ෂයින් 200 ගේ සහභාගීත්වයෙන් මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලදී ද මෙම දැනුවත් කිරීම සිදු කර ඇත. එසේම මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක පෙර පාසල් පාලිකාවන් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක ගෘහණීයන් සඳහා ද දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහන් මගින් විකල්ප බලශක්ති භාවිතය සහ කාර්යක්ෂම බලශක්ති පරිභෝජනය සම්බන්ධයෙන් සිදු කළ දැනුවත් කිරීමට සම්බන්ධවූවන් දැනුවත් කිරීමේ වැඩසටහනට පෙර විදුලි පරිභෝජනය සහ දැනුවත් කිරීමට පසුව විදුලි පරිභෝජනය අතර වෙනස සළකා බැලීම සිදු කර ඇත. ඒ යටතේ ක්‍රියාත්මක කරන ලද එක් වැඩසටහනකින් වැඩිම කාර්යක්ෂමතාවයකින් විදුලිය පරිභෝජනය කරන ලද තිදෙනෙකු බැගින් තෝරා ඇගයීමට ලක් කරන ලදි. එසේම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට වැඩසටහන සඳහා සහභාගී වූවන්ගේ විදුලි පරිභෝජන තොරතුරු ලබා දෙමින් අප වෙත සහාය වූ පාසල් වල ගුරුභවතුන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් සහ වනිතා සංවර්ධන නිලධාරීන් ද ඇගයීමට ලක් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) එරන්දි කුමාරගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) සම්පත් යටිවැල්ල මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන විදුලිබල හා බලශක්ති සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිලධාරින්, ගුරුභවතුන්, සිසු දරුවන් පිරිසක් එක් වූහ
මත්ද්‍රව්‍ය උවදුරින් පාසල් දරුවන් ගලවා ගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක්
මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් මත්ද්‍රව්‍ය උවදුරින් පාසල් දරුවන් ගලවා ගැනීම උදෙසා සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී පසුගිය (02) දින පැවැත්විණි.ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් වහන්සේ විසින් මූලාසනය හොබවන ලද මෙම වැඩසටහන මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘රටම එකට’ මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීමේ වැඩසටහනට සමගාමීව පාසල් දූ දරුවන් ඉන් මුදවා ගැනීම හා දැනුම්වත් කිරීමේ අරමුණ ඇතිව වෙසක් සතියට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාක්මක කෙරිණි. මේ යටතේ මහනුවර අධ්‍යාපන කලාපයේ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කලාප අධ්‍යපාන කාර්යාලය කටයුතු කර තිබේ.මහනුවර ජාතික රෝහලේ මනෝචිකිත්සක, වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.පී. දිසානායක, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ, අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) කේ.ඩී.ඩී. ප්‍රියදර්ශනි, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති නාමල් චන්දන කුමාර යන මහත්ම මහත්මීහු ඇතුළු සිසු දරුවන් පිරිසක් එක් වූහ.
මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ ලේ දන්දීමේ වැඩසටහන
වෙසක් උත්සවයට සමගාමීව මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා සුබ සාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහන එම කාර්යාල පරිශ්‍රයේදී පසුගිය (02) දින පැවැත්විණි.ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් වැඩම කිරීමෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
ප්‍රථම වරට සංවිධානය කර තිබු මෙම ලේ දන්දීමේ වැඩසටහනේ දී, රුධිර පරිත්‍යාගශීලීන් ඇගයීම සඳහා පළතුරු පැළයක් ලබාදීමට ද කටයුතු යොදා තිබිණි.මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.පී. දිසානායක, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉඳුමිනි මැණික්දිවෙල, අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) කේ.ඩී.ඩී. ප්‍රියදර්ශනි යන මහත්ම මහත්මීහු ඇතුළු මහනුවර ජාතික රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නිලධාරින්, කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා සුබ සාධක සංගමයේ නිලධාරීන් රුධිර පරිත්‍යාගශීලීන් පිරිසක් එක් වූහ.
දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයට නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ
දෙනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියක වන එස්.ඩී.ටී.එම්.එස්.කේ දසනායක මහත්මිය පත් කෙරේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් මෙම තනතුරට අදාළ පත්වීම් ලිපිය පසුගිය (01) දින පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී පිරිනැමිණි.දෙනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට පෙර දසනායක මහත්මිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළාය.ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ වසර විස්සකට ආසන්න සේවා පළපුරුද්දක් ඇති නිලධාරිනියක වන දසනායක මහත්මිය කලක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහලිපතිනිය ලෙස ද කටයුතු කළාය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන යන මහත්මීහුද මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා එක් වූහ.
මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයට නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියක වන ආර්.ජි.ජි.එන්.එස්. චන්ද්‍රසේකර මහත්මිය මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත් කෙරේ.
ඊට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් පසුගිය (01) දින පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී පිරිනැමිණි.මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට පෙර චන්ද්‍රසේකර මහත්මිය දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ, වැඩබලන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළාය.ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ වසර දාහතක පමණ සේවා පළපුරුද්දක් ඇති නිලධාරිනියක වන චන්ද්‍රසේකර මහත්මිය, රාජ්‍ය සේවයට එක්වීමෙන් පසුව දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ තනතුරු රැසක රාජකාරි කටයුතු සිදුකර තිබේ.මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන යන මහත්මීහුද එක් වූහ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
